මහ ඉතිහාසයක් දරාගෙන වැසීගිය බෝගම්බර වැව..

බෝගම්බර වැව කිව්වාම අපට සිහිපත් වෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්ලවීමේ ශෝචනීය සිදුවීමයි. ඒ ශ්රි වික්රම රාජසිංහ රජතුමාගේ කාලයේදි.
ඉතින් ඒ බෝගම්බර වැව අද කොහේද තිබෙන්නේ. දැනට මාලිගාව අසල තිබෙන්නේ ඒ බෝගම්බර වැව කියලා ඇතැමුන් සිතනවාත් විය හැකියි. නමුත් ඔබ දන්නවාද රජ සමයේ තිබු ඒ බෝගම්බර වැව අද දකින්නවත් නැහැ. අද දළදා මාලිගාව අසල තිබෙන වැව ඉදිකර ඇත්තේ ශ්රි වික්රම රාජසිංහ රජතුමා. ඒ 1810 -1812 අතර කාලයේදි.
මේ ඉපැරණි බෝගම්බර වැව මුළුමනින්ම නැතිවී ගිහින්. ඒ වැව ගැන සටහනක් ලියන්නයි මේ සුදානම. පැරැණි බෝගම්බර වැව පළමු විමලධර්මසූරිය (1592 – 1604) රජු ඉදිකරවූවක් බවයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ දළදා මාලිගාව මහනුවර ඉදිකරපු රජතුමා.
ඒ වගේම මේ වැව දෙවැනි රාජසිංහ (ක්රි. ව. 1636 – 1687) රජසමයේ ඉදිවුවක් බවත් කියවෙනවා. මන්දාරම්පුර පුවත ඉතිහාස කාව්යයේ සදහන් වෙන පරිදි දෙවැනි රාජසිංහ රජු ඉදිකළ වැව් 32 කට බෝගම්බර වැවත් අයත් බව කියනවා.
මේ බෝගම්බර වැවට ජලය අරන් තිබුණේ දුනුමඬලා ඔය හරස්‌ කරලයි. දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ වතුරත් වැවට ලැබිලා තිබෙනවා.
ඉතින් මේ බෝගම්බර වැව තිබුණේ කොහේද කියා ඔබ දන්නවාත් ඇති. ඔබ දන්නවා වර්තමානයේ මහනුවර බස්‌ නැවතුම්පළ, එතකොට ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්රීඩාපිටිය, මහනුවර අධ්යාපන දෙපාර්තමේන්තුව, ප්රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්‌ථානය, මහනුවර පොලිස්‌ ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල තිබෙන ප්රදේශය එදා පැරණි බෝගම්බර පැතිර ති⁣බෙනවා.
එතකොට එදා බෝගම්බර වැව සාගරයක් වගේ විශාලව තිබෙන්න ඇති. වැව් මණ්ඩියේ සිට බලනකොට ඈතින් දළදා මාලිගාව ලස්සනට දිස්වෙන්න ඇති. ඔය ඉහත කිව්ව අද තිබෙන ගොඩැනැගිලි ඇති තැන්වල පොළව වැඩිපුර හෑරුවොත් තවමත් උල්පත් මතුවන බව සදහන්.
මේ වැවේ ඉපැරණි විස්තර පිළිබඳ වගේ මහනුවර නගරයේ ඉපැරණි විස්තර බොහොමයක් හොඳින් දැන සිටියා මල්වතු විහාරයේ වැඩසිටි අලුත්ගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ. මහනුවර පාරවල්වලට ඉපැරණි නම්වැටුණු හැටි වගේ විස්තර පොතක ලියන්නත් උන් වහන්සේට උවමනාව තිබුණා. උන් වහන්සේ අපවත්විමට පෙර අප සමඟ කළ විස්තරය අනුව පැරැණි වැවේ එක්‌ මායිමක්‌ තමයි වර්තමානයේ කැප්පෙටිපොල ශාලාව අසළ ඇත්තේ.
ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්‌වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක්‌ තිබී ඇත. ගණදෙවි කෝවිල ළඟ පැරණි වැව පාර කියලත් හදුන්වනවා. දෙයියන්නේවෙල, මුල්ගම්පල, ගැටඹේ කඹුරුයායවල් වලට වතුර අරන් තියෙන්නෙත් ඉපැරණි බෝගම්බර වැවෙන් තමයි.
ශ්රී වික්රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරිහාමී ඇතුළු ස්‌ත්රීන් ගෙලේ ගල් බැඳ ගිල්වා මැරුවේ මේ පැරණි බෝගම්බර වැවේනේ. මේ වැවේ රජු කිඹුලන් ඇතිකළ බවකුත් කියනවා. ඒ බව රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයේත් සදහන් වෙනවා.
ඉතින් මහ සයුරක් වගේ තිබු බෝගම්බර වැව වැසීගි⁣යේ කොහොමද කියලා අදහස් කීපයක්ම තිබෙනවා.කොළඹ – මහනුවර පාරේ වැඩ නිමවුණේ 1841 දි. එහි අවසන් කොටසට වැවේ කොටසක් ගොඩකර තිබෙනවා. ඒ වගේම 1867 දි නිමවු කොළඹ – මහනුවර දුම්රිය පාරටත් වැවේ කොටසක් ගොඩකර තිබෙනවා.
මහ බ්රිතාන්යයේ 7 එඩ්වඩ් කුමරා ලංකාවට ආවේ 1875 දි. කුමාරයා පිළිගන්න මහනුවර නගරයේ ගොඩක් වෙනස්කම්කර තිබෙනවා. අන්න එහිදි තමයි පැරැණි වැව සම්පුර්ණයෙන්ම ගොඩකර තිබෙන්නේ. වැව ගොඩකරලා තමයි බෝගම්බර ක්රීඩා පිටිය හැදුවේ.
ඉතින් මහ ඉතිහාසයක් දරාගත් බෝගම්බර වැව මත තමයි අද මහනුවර බොහෝ ගොඩනැගිලි ඉදිවි තිබෙන්නේ. ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වනවා දුටු කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දමනවා දුටු ඒ මහ වැව මතින් අද අපි ඇවිද යනවා.
තොරතුරු ~ පුරාවිද්යා චක්රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි.
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email